Wednesday, May 20, 2015

෴ජෙප්පෝ෴

ලාංකීක දේශපාලනයේ තෙවන ප්‍රධාන බලවේගය ලෙස හැඳින්වූවද 77 කාලයේ පටන්ම දේශපාලනයේ තෙවන මුල්ලෙන් මෙපිටට එන්නට "ජනතාවගේ පක්ෂය" ලෙසින් හඳුන්වාගන්නා පක්ෂයකට නොහැකි වූයේ ඇයි ?
සියලුම ගැටළු වලදී ජනතාව සමඟ උරෙනුර ගැටෙන, පාරට බහින ඔවුන්ට මැතිවරණයකදී කතිරය නොගසා ජනතාව අත පිහිදා ගන්නේ "දැනුවත් නොමැති" නිසාද ?
ජනතාව ඇත්තටම නොදැනුවත්ද ?
ජනතා විමුක්ති පෙරමුණ නිදහසට පසුකාලීන දේශපාලනයට (ධනාත්මක/සෘණාත්මක) නව ආරක් එකතු කළ පක්ෂයයි. එපමණක් නොව එය වෙනත් ලාංකීය ඕනෑම දේශපාලනික සංවිධානයකට වඩා තේරුම් ගැනීමට අපහසුම දේශපාලන පක්ෂයයි. මෙය ඕනෑම රහසිගත දේශපාලන සංවිධානයකට පොදු ලක්ෂනයක් වුව ද පක්ෂය 'විප්ලවයෙන්' ඉවත් වී ඇතැයි නව පක්ෂ නායකයාම සෘජුව ප්‍රකාශ කරන තත්වයක් තුළදී ජවිපය ප්‍රායෝගිකව න්‍යායාත්මකව වඩාත් විවෘත විය යුතු ය.
අද ජවිපය තුළ දක්නට ඇති ප්‍රධානතම අඩුපාඩුව කුමක් ද ? එය නම්, විවේචන බහුල වීමත් යෝජනා අවම වීමත් ය. ආණ්ඩු පක්ෂයට එරෙහිව ජවිපය මතු කරන චොදනා විටෙක අතිශයින් කරුණු අතින් ප්‍රභල වන අතර එවා 'ආණ්ඩු මාරුවකට' ඉතාමත් ප්‍රමාණවත් තත්වයේ එවා වේ. රැස්වීමේදී - රූපවාහිනිය ඉදිරි පිටදී කම්මුලට අත තබාගෙන අසා සිටින ඡන්ද දායකයා හට, හදවතට ඒවායේ නිවැරදි බව දැනේ.
ඡන්ද දායකයාට ජීවන බර දැනේ.
නමුත් නැවතත් ගැටළුව කොතැනද ?
පවතින ආණ්ඩු ක්‍රමයට ජවිපය ගෙනෙන විකල්පය හෝ සංශෝධන ගැන අංශු මාත්‍රයක හැඟීමක් දැනීමක් ඡන්ද දායකයාට නැත.
මේ පිළිබඳව 'අපේ දැක්ම' මඟින් ඉඟි සපයා ඇතත් එය සාමන්ය ජනතාවට සම්ප්‍රේෂණය වූයේදැයි යන්න සැක සහිත ය.
෴සමාජවාදය හප්පෙක් ද ? ෴
බොහෝ තැන් වලදී සමාජවාදය එක්ස්පයර් වී අති බවට දිව්රීමට සාක්ෂි කූඩුවට නංවන්නේ සමාජවාදී බල කඳවුරේ බිඳ වැටීමයි. එය නිරවද්ය ස්වරූපයෙන් පවතින සාවද්ය සාක්ෂියක් මිස එතනින් එපිට වලංගු භාවයක් ඇත්තක් නොවේ. සැබැවින්ම සමාජවාදය තුළින් රටකට ප්‍රගමනයක් අත්කරගත නොහැකි ද ?
සෝවියට් සමාජවාදී විප්ලවයෙන් පසු සෝවියට් දේශය මෙන්ම අනෙකුත් සමාජවදී රටවල ජනතාවද අසිරිමත් භෞතික හා සංස්කෘතික ජයග්‍රහණ රැසක් හිමි කරගත් අතර එම ජයග්‍රහණ වසරක් 50ක පමණ කාලයක් තුළ සාර්ථකව පවත්වාගෙන යාමට හැකි විය. විප්ලවයකට පෙර පැවති තත්වය හා සසඳන විට එම ජයග්‍රහණ අනෙකුත් ධනවාදී රටවල වසර සිය ගණනක් ලබාගත් සංවර්ධනයට සමාන කල හැකිය.
නමුත් 1989 වර්ෂය වන විට නැගෙනහිර යුරෝපීය රටවල හා සෝවියට් දේශයේ සමාජවාදී රාජ්ය පද්ධතිය බිඳ වැටෙන්නට විය.
එය සමාජවාදයේ දුර්වලතාවයකට වඩා නැගෙනහිර යුරෝපීය සමාජවදී රාජ්ය පදනම බිඳවැටීමෙන් ඊට සමකාලීනව සෝවියට් දේශයේ හා අනෙකුත් සමාජවදී රටවල සිදුවුණු සිද්ධිදාමයන්හි අනිවාර්ය ප්‍රතිඵලයක් ලෙස ඇති වූ තත්වයකි.
පොදු ජන සුභ සෙත අරමුණු කරගත් සමාජවාදය ඇන්. ඇම්. ගේ වචන වලින් කිවහොත් "කාලාම බැලිය යුතු පුඩිමකි".
නමුත් සමාජවදී කඳවුර බිඳවැටීමෙන් පසු කාලය තුල ලෝක ආර්ථික දිශානතිය පැහැදිලි වෙනස්වීම් වලට ලක් වී ඇත. ආයෝජන ඒකක එක්වීම තුලින් සිදුවන ප්‍රාග්ධන සංකේන්ද්‍රගත වීම ගෝලීයකරණය සමඟ සිය දහස් ගුණයකින් ඉහල ගොස් ඇත. එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන වාර්තාවට අනුව ගෝලීයකරණය අනිවාර්යයෙන්ම සිදුවෙමින් පවතින ක්‍රියාවලියකි. කුමන ආර්ථික සිද්ධාන්ත මත ක්‍රියා කරන රටකට වුවද මෙම තත්වයෙන් බැහැර වී කටයුතු කල නොහැක.
නමුත් ගෝලීය ආර්ථිකයක් තුල වෙළඳපොල වඩාත්ම ප්‍රගතියක් අත් කරගන්නේ මිනිසුන් හා ඔවුන්ගේ අයිතීන් තහවුරු කිරීමෙන් නොව වෙළඳපොල ලාභ ඉපැයීම මතය.
සමාජවාදී දේශපාලන ප්‍රතිපත්ති වලට පටහැනි වන නමුත් පිටු පෑමට, මඟ හැරීමට නොහැකි සාධකයක් වන මෙයට පැහැදිලි විකල්ප ප්‍රතිපත්ති - සංශෝධන ජවිපය විසින් ඉදිරිපත් කල යුතුව ඇත. මෙකී කාරණයේදී යම් ආකාරයක සාධනීය සමතුලිත ලක්ෂයක් ජවිපය සොයාගෙන ඇති බවක් පෙනෙන්නට ඇති අතර මාලන්ගේ වචන වලින් කිවහොත් හාඩ්කෝර් ලෙනින්වාදීන්ට ජවිපය සම්බන්ධව අති අවුලද එයයි. නමුත් පැහැදිලි ආර්ථික දැක්මක් සාමන්ය ජනයාට වැටහෙන අයුරින් සමාජගත කිරීමෙ වගකීම තවමත් ජවිපයෙන් ඉටුවී නොමැත.
෴ජෙප්පො චන්ඩි ද ? ෴
චීන කොමියුනිස්ට් පක්ෂයෙන් බිඳී ඇති වන ජනතා විමුක්ති පෙරමුණහි මුල් කාලය ගතවන්නේ සන්නද්ධ අරගලය ගුරුකොට ගනිමිනි.
71 අප්‍රේල් කැරැල්ල එම දේශපාලන ක්‍රියාවලියේ අවසාන ඵලය විය. එහෙත් 77 මැතිවරණැයෙන් පසු ජවිපය නීත්යානුකූල දේශපාලන ප්‍රවාහයට එක් වීම සිදු වේ. 77 මහා මැතිවරණයෙන් බලයට පත්වන ජේ. ආර්. ජයවර්ධන විසින් 83 කලබල සටකපට ලෙස යොදාගෙන ලං.කො.ප., න.ස.ස.ප හා ජවිපය තහනම් කරනු ලබයි. 1984 මාර්තුවේදී අනෙකුත් පක්ෂ තහනම් ඉවත් කලද ජවිප තහනම ඉවත් නොකිරීමට වගබලා ගනී. ඉන්පසුවද නැවතත් පක්ෂ තහනම ඉවත් කරගැනීමට ජවිපය දැරූ සෑම උත්සාහයක්ම ප්‍රතිඵල විරහිත වන තත්වයකදී දූෂිත ආන්ඩුවට එරෙහිව නිතැතින්ම සන්නද්ධ අරගලයකට ජවිපය තල්ලු වීම සිදුවේ.
ජවිප ඉතිහාසය ලෙයින් තෙත්ව ඇති බව පිළිගැනීම කළ යුත්තකි. මෙකී කාරණාවේදී මා ප්‍රධාන අඩුපාඩු 2ක් දකී.
පළමුවැන්න නම් යමෙකුට හෝ යම් සංවිධානයකට තමන්ගේ 'පෙර වැරදි' සම්බන්ධව පැහැදිලි හා විවෘතව පෙනෙන ස්වයං විවේචනයක් තිබිය යුතුය. එසේ නොමැති විට සිදුවන්නේ යම් යම් පුද්ගලයන්ට පිළිකන්නේ සිට හූ කීමට අවස්ථාව ලැබීමත් ජනතාව තුල විශ්වාසනීය භාවයක් ඇතිකිරීමට අපහසු වීමත්ය.
අනෙක නම් සන්නද්ධ අරගලයක් තුලින් පාලන බලය ලබා ගැනීමේ ජවිප ප්‍රතිපත්තිය හැරුණු කොට වෙනත් පාලන ප්‍රතිපත්තියක් පිළිබඳව ජනතාව තුල සංවේදයක් නොමැති තත්වයක් තුලදී 'අපි ආවම රට' ගැන පැහැදිලි චිත්‍රයක් ජනතාවට ලබාදීමට ජවිපය ක්‍රියා කර නොමැති වීමයි.
ජවිප + ආගමිකයන් සහ ජෙප්පන් අතර පැහැදිලි වෙනසක් ඇත. දරුණු ඒකාධිපතිත්වයක් රජයන විට පැහැදිලි විකල්පයක් ලෙස මතුවන ජවිපය තනිකිරීම, කොන්කිරීම නොකල යුතු වරදක් වන අතර කල යුත්තේ වැරදි අඩුපාඩු හදාගන්නට අනුබල දීම යැයි සිතමි.


No comments:

Post a Comment